
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ
80 වන සැසිවාරයට
ශ්‍රී ලංකා ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන්
පියල් පෙරේරා
විසින් ඉදිරිපත් කරන ලද දේශනය
සභාපතිතුමියනි,
ගෞරවනීය ආරාධිතයිනි,
සම්භාවනීය නියෝජිතයිනි,
මුලින්ම,
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙම ඓතිහාසික 80 වන සැසිවාරයේ සභාපතිනි ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් ජර්මනියේ අතිගරු ඇනලේනා බේර්බොක් මැතිණියට මම උණුසුම් සුබපැතුම් පිරිනමමි.
79 වන සැසිවාරය අතරතුර ඇති කළ සුවිශේෂ නායකත්වය සඳහා කැමරූනයේ අතිගරු ෆිලමන් යං මැතිතුමාට ශ්‍රී ලංකාවේ කෘතඥතාව ප්‍රකාශ කරමි.
ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මෙම ගෞරවනීය මහා මණ්ඩලයට ඇමතීමට ලැබීම ගැන නිහතමානීව සතුටුවෙමි.
සම්භාවනීය නියෝජිතයිනි,
අපි මෙහි රටවල නියෝජිතයන් ලෙස රැස්ව සිටිමු.
නමුත් එයින් ඔබ්බට,
අප මත පැටවී ඇත්තේ අපේ ජනතාවගේ පූජනීය භාරකාරත්වයකි.
මෙම ශාලාව තුළ අප ගන්නා සෑම තීරණයක්ම ලොව පුරා ජීවිත ස්පර්ශ කර අපේ පොදු නිවසේ අනාගතය හැඩ ගැසේ.
මානව වර්ගයාගේ පැරණි ඛේදවාචකයක් වන
දරිද්‍රතාවය
තවමත් අපේ ලෝකයට පීඩා කරන අයුරු බලන්න.
අද දිනයේ මිලියන ගණන් ළමුන් කුසගින්නෙන් පෙළෙන අතර,
තවත් මිලියන ගණනකට ඔවුන්ගේ
මූලික අධ්‍යාපන අයිතිය අහිමි කර ඇත. තම තාක්ෂණික ජයග්‍රහණ ගැන ආඩම්බර වන ලෝකයක් මෙය ඉවසන්නේ කෙසේද?
අධ්‍යාපනය සෑම මහා ජාතියකම පදනමයි.
අධ්‍යාපනයට ආයෝජනය කිරීම, ඇත්තෙන්ම ගෝලීය ප්‍රගතිය සඳහා වන ආයෝජනයකි.
එහෙත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය වලින් බැඳී, පාසල් හෝ රෝහල් සඳහා වියදම් කරනවාට වඩා පොලී ගෙවීමට සිදු වී ඇත.
2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රතිඥා දී ඇත්තේ
“කිසිවෙකු අත්හැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් ” ය.
අප මෙම පොරොන්දුවට ගරු කළ යුතුයි.
ගරු සභාපතිතුමිනි,
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශයේ 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව පැහැදිලිව දක්වන්නේ ගෝලීය මත්ද්‍රව්‍ය වෙළඳාම සහ එහි අපරාධ ජාල වැඩෙමින් පවතින බිහිසුණු තර්ජනයක් බවයි.
ඒවා අපේ සමාජ දූෂණය කර,
රාජ්‍ය අස්ථාවර කර,
ජීවිත විනාශ කරයි.
මෙම මහා ව්‍යසනයට මුහුණ දීමට ශ්‍රී ලංකාව ස්ථිර පියවර ගෙන ඇත.
නමුත් කිසිදු රටකට තනිව සාර්ථක විය නොහැක.
අප එකට ක්‍රියා කළ යුතුයි — ජාවාරම්කරුවන්ට එරෙහිව
නීතිය දැඩි කර,
දේශ සීමා හරහා වන ආරක්ෂිත තෝතැන්න වසා දමා,
ඇබ්බැහි වීමට ගොදුරු වූවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු ගැන
මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරමි
ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
දූෂණය සමාජය විනාශ කරන තවත් වසංගතයකි.
එය ජාතීන්ගේ ධනය සොරකම් කර, ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කර,
දරිද්‍රතාවය පෝෂණය කරයි.
නයිජීරියාවේ ,
අබූජාහිදී
රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ,
ආචාර්ය ගොසි ඔකොන්ජෝ-ඉවේලාගේ
“දූෂණයට එරෙහි සටන භයානකයි ”
කෘතියෙන් උපුටා දක්වමින් අපට මතක් කර දුන් පරිදි
“දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි .”
සටන කිසිවිටෙක පහසු නැත.
නමුත්,
ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු වරෙක කියා ඇති පරිදි
“නිර්භීත වන්න, ඉතිරි සියල්ල ඉබේම සිදු වනු ඇත.”
පළමු පියවර තැබීමට අපට ධෛර්යය ඇති කර ගනිමු.
එය කොතරම් දුෂ්කර වුවද,
එම පියවර නිවැරදි නම්,
තවත් දහස් ගණනක් අනුගමනය කරනු ඇත.
ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
ශ්‍රී ලංකාව දශක තුනක යුද්ධයේ කටුක ඇත්දැකීම් විඳදරා ගත්තා.
අපි යුද්ධයේ නිෂ්ඵලතාව වැඩිපුරම දනිමු.
අපි යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දැක ඇත්තෙමු.
අපි පවුල් සදහටම විසිරී යනු දැක ඇත්තෙමු.
ඒ නිසා අද අපි පැහැදිලිව කියමු
කිසිදු ජාතියක් යුද්ධය ප්‍රාර්ථනා නොකරන අතර,
කිසිදු ජනතාවක් එහි ඛේදවාචක වලට ගොදුරු විය යුතු නැත.
ගාසා වල මානුෂීය ව්‍යසනය
අප දැඩි ලෙස කනස්සල්ලට පත් කරයි.
අහිංසක ළමුන් සහ සිවිල් වැසියන් එළිමහන් සිර කඳවුරක් බවට පත් වූ ප්‍රදේශයක දුක් විඳින්නෝය
. ශ්‍රී ලංකාවේ අප
- ක්ෂණික සටන් විරාමයක්,
- බාධාවකින් තොරව මානුෂීය ආධාර, සහ
- ප්‍රාණ ඇපකරුවන්ගේ මුදා හැරීම වෙනුවෙන් පෙනී සිටිමු
එ.ජ. යෝජනා සහ 1967 සීමාවන්ට අනුකූලව ඊශ්‍රායලය සමග පලස්තීන ජනතාවගේ ස්වෛරී රාජ්‍යයක් සඳහා වන අහෝසි කළ නොහැකි අයිතිය අප නැවත තහවුරු කරමු.
යුක්තිසහගත හා ස්ථීර විසඳුමකින් පමණක් සාමය ගෙන ආ හැකිය.
වහල්භාවය අහෝසි කිරීමෙන් සියවසකට පසුවත්,
ජාතිවාදයේ සහ ආන්තිකවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව පෙනේ.
ඒවා අළු යට ගිනි පුපුරු මෙනි
එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව
අවස්ථාවාදී ලෙස එම ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලා බවට පත් කිරීමයි.
මානව දයාව,
සමානාත්මතාව සහ සහයෝගිතාවේ වටිනාකම් වලින් මෙම ගිණිදැල් නිවා දැමිය යුතුයි.
මාගේ ජනතාව අන්ධකාරය මත ආලෝකය තෝරාගෙන ඇත.
ඔවුන්
“ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”
යන දැක්මට තම ආශිර්වාදය ලබා දී ඇත.
මෙම දැක්ම ඉටු කරගැනීමට,
ශ්‍රී ලංකාව කැපවී ඇත
එනම්
- සදාචාරාත්මක, දූෂණ රහිත පාලනයට,
- දරිද්‍රතාවය මුලින්ම සමනය කිරීමට,
- අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ව්‍යාප්ථ කිරීමට,
- පිරිසිදු හා තිරසාර සංවර්ධනය අනුගමනය කිරීමට,
- ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට සහ කෘතිම බුද්ධිය වගකීමෙන් යුතුව භාවිතා කිරීමට.
අප මෙම පදනම් ශක්තිමත් කරන අතරම,
ලෝකයට ශ්‍රී ලංකාවේ දොරවල් විවෘත කරමු
- ආයෝජකයන්ට,
අප සුරක්ෂිත, නීතිය මත පදනම් වූ, විනිවිදභාවයට කැපවූ පරිසරයක් ලබා දෙමු. - සංචාරකයන්ට,
අපගේ ජනතාවගේ සංග්‍රහ සත්කාර, අපගේ සංස්කෘතියේ පොහොසත්කම, සහ අපගේ දිවයිනේ සුන්දරත්වය දිගු කරමු.
ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
1945 දී එ.ජ. ප්‍රඥප්තිය අත්සන් කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැරී එස්. ට්‍රූමන් ප්‍රකාශ කළේ
“ඔබගේ අතේ අපගේ අනාගතය තිබේ. අප භීතියෙන් හෝ බලහත්කාරයෙන් ක්‍රියා නොකර,
වඩා යහපත් හා ආරක්ෂිත ලෝකයක් සඳහා බලාපොරොත්තුවෙන් ක්‍රියා කළ යුතුයි.”
එම බලාපොරොත්තුවෙන් මගපෙන්වන්නෙමු.
ලෝකය තවත් ව්‍යසනයට රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් බවට පත්වීමට මෙම සමුළුවේදී අපි අධිෂ්ඨාන කර ගනිමු.
අවසාන වශයෙන්
මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා.
ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා.
මගේ රටේ ජනතාවට සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා.
ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා.
ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා.
“නිරෝගී ධරණි තලයක
සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු “
යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා.
ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.
මෙම උතුම් ගමනට ඔබ සමග එක් වීමට ශ්‍රී ලංකාව සූදානම්.
මේ රැස්වීම අවසානයේ ශ්‍රී ලංකාවේ තේ හෝ බෙලිමල්/ රණවරා ඹෂධීය පානය කිතුල් හකුරු සහ කොණ්ඩ කැවුම් සමග රස බැලීමට හෝ තැඹිලි වතුර පානය කිරීමටත් එක්වන ලෙස ඔබ සැමටම ආරාධනා කරමි.
බෙහෙවින්ම ස්තූතියි.